සැදැහැවත් බතිමතුනි, ගලේ දේවාලය වන්දනා කිරීමට යන ඔබ දැනගත යුතු ස්තෝත්‍ර කිහිපයක් පහත සඳහන් වේ.

ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන් නැමදීම

ශිව මස්තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ

අග්නිඃ ඛන්දන්ච හස්තෙන
හස්ථෙන වඩිග කර්කතේ
මුඛේන විෂ සර්පේන
ශිර්ශේ පංච කේෂකේ

උදරේ නාග බන්දාමි
නීලෝ තුරඟ වාහනඃ
සූනියම් දේවතා නාම
මයිහං පාදකේ නමඃ


ශ්‍රී සිද්ධ සූනියම් දෙවියන්ට පින් දීම

නා නා වණ‍්ණ‍ මහා තෙජෝ
ඕදාත භය වාහනෝ
ග්‍රාම සංඤ්චාරකෝ දේවෝ
ඉදං පුංඤනු මොදතු

දා වෙමින් නුවර පඬුවස් නිරිදුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා තුටින් කියන දේ ඉටු කර දෙන්ට
සූනියම් දේවතාවනි මේ පින් ගන්ට


ශ්‍රී සිද්ධ සූනියම් දේව කන්නලව්ව

පස්වාන් දහසකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ අතුරු සිදුරු නොමැතිව ගම් කොරටු භාරව සියළු නර සතුන්ගේ පූජාවන්ට දිවැස් හෙලා සියලු සත්වයා හට ශාන්ති දානය සලස්වන ශ්‍රීමත් සිද්ධ සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව නම් සෘද්ධිමත්  මහා බල ඇති සිද්ධ ඔඩ්ඩිස සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, නීල වර්ණ දේහයකින්  හා එසේම තුරඟ වාහනාරූඪව ත්‍රිශූලය, ගිනි කබල, වඩිග කඩුවක් ද එක් අතක දරා ඇති, භයංකර රාක්ෂ අවතාරයක් මවාගෙන ලේ පොළඟෙක් කටින් ගෙන සිරස ගෙළ අත් උදර වටා නා සර්පාභරණයෙන් ඔප් නැඟී යකුන් පිරිවාරාගෙන ගමන් කරන සිද්ධ බලකාර ගම්භාර සූනියන් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස, මේ අසරණ මාගේ කන්නලව්වට දිෂ්ටි දිවැස් හෙලා බලා වදාරා නොදැන කළ වරදක් ඇතොත් කමා වී මාගේ අදහස් ඉෂ්ට කර දී වැඩ වදාරන සේක්වා.


ගලේ දේවාලය ගැන ඔබ දැන ගත යුතු දේ:

1. ස්නානය කර, සුදු හෝ ලා පැහැති ඇඳුමකින් සැරසී පැමිණීම වඩාත් සුදුසු වේ.
2. දේවාලය අවට රථ වාහන ගාල් කිරීමට බොහෝ ස්ථාන ඇත.
3. දේවාල භූමියේ හිස්වැසුම් සහ පාවහන් පැළදීමෙන් වලකින්න. පාවහන් තැබීමට රාක්ක සකස් කර ඇත.
4. දේවාල භූමියට ප්ලාස්ටික්/පොලිතින් රැගෙන යාමෙන් වලකින්න.
5. බොහෝ බැතිමතුන් සුදු මල් සහ පිං පඬුරු සිරිතක් ලෙස රැගෙන එයි. දේවාලය අසල මල්, තෙල්, පහන්, හදුන්කූරු වැනි දෑ මිලදී ගැනීමට කුඩා වෙළඳ ස්ථාන ඇත. ඇතැම් බැතිමතුන් විසින් නිවසේදී සදා ගත් මල් මාලා ද ගෙන එයි.
6. සතියේ ඇතැම් දින සහ වේලාවන් වලදී දේවාල භූමිය සහ ඒ අවට විශාල වශයෙන් බැතිමතුන් ගැවසෙනු දැකගත හැක.